Computer Networking - Intro

අද මම කියලා දෙන්න යන්නේ Computer Networking හෙවත් පරිගණක ජාලකරණය  ගැන පොඩි හැඳින්වීමක්. පරිගණක ජාලකරණය කියන්නේ පරිගණක (හෝ ජාලගත කළ හැකි උපාංග) දෙකක් හෝ කීපයක් දත්ත, තොරතුරු සන්නිවේදනය සහ සම්පත් හවුලේ භාවිතා කළ හැකි අයුරින් එකිනෙක සම්බන්ධ කිරීම කියලා ඉතාමත් සරලව කියන්න පුළුවන්. එමෙන්ම දැනට ලොව පවතින විශාලතම පරිගණක ජාලය ලෙස අන්තර්-ජාලය හැඳුන්වන්න පුළුවන්.


පරිගණක ජාලකරණය බිහිවීමත් සමඟ මුළු ලෝකයේම සෑම රටක්ම පාහේ භූමි අතර පරතරය නොසලකා තත්ත්පර ගණනක් තරම් ඉතාමත් සමීප වෙලා තිබෙනවා. පරිගණක ජාලකරණයේ ඉතිහාසය ගැන මෙතනදී මම කියන්න යන්නේ නෑ මොකද ඒ ගැන ලියවුන ලිපි ඕනෑ තරම් හොයාගන්න තියෙන නිසා. ඒත් මෙම පරිගණක ජාලකරණය ප්‍රථමයෙන්ම බිහිවෙලා තියෙන්නේ යුධමය කටයුතු සඳහා කියලා මතක තබාගැනීම නම් වටිනවා. එහෙනම් දැන් අපි බලමු පරිගණක ජාලගත කිරීමෙන් ඇතිවන වාසි සහ අවාසි ගැන.


පරිගණක ජාලගත කිරීමෙන් ඇතිවන වාසි

  • සම්පත් හවුලේ භාවිතාකළ හැකි වීම. (උදාහරණයක් ලෙස එක් ප්‍රින්ටරයක් ජාල ගත කිරීම මඟින් එය කිහිපදෙනෙකුට භාවිතා කිරීමට හැකි වීම.)
  • පරිගණක වල ඉඩ කඩ ඉතුරු කරගත හැකිවීම (උදාහරණයක් ලෙස රැකියා ස්ථානයක හැමෝම භාවිතාකරන ලිපිලේඛන එක් පරිගණකයක ගබඩාකර තබා හවුලේ භාවිතා කිරීම.)
  • පණිවිඩ හුවමාරුව සඳහා නව මං සකසා ගත හැකිවීම. (උදාහරණ ලෙස Email, Fax, Internet Call සහ Video Call වැනි ක්‍රම බිහිවීම නිසා ඒවා ඉතා වේගවත්ව හා ලාභදායී ලෙස සිදුකරගත හැකි වීම.)


පරිගණක ජාලගත කිරීමෙන් ඇතිවන අවාසි

  • පරිගණක ජාලගත කිරීම වාසි සහගත ලෙස පෙනුනත් ඇත්තටම එමඟින් සැලකියයුත් අවාසි කීපයකුත් දැකගන්න පුළුවන්. එයි ප්‍රධානතම අවාසිය ලෙස පරිගණක වෛරස ගන්න පුළුවන්. එක් පරිගණකයකට වෛරසයක් ඇතුළු වූ පසු එම ජාලයේ අනෙකුත් පරිගණක අතරද එම වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන් අවධානමක් පවතිනවා.
  • අනෙක් වැදගත්ම කාරණය වන්නේ දත්ත සහ තොරතුරුවල ආරක්ෂාවටද දැඩි අවධානමක් තිබෙනවා. පද්ධතිවල පවතින දුබල තාවයන් නිසා අවසර නොමැති තුන්වන අයෙක් විසින් එම දත්ත සහ තොරතුරු ලබාගන්න පුළුවන් අවධානමකුත් මෙම ජාලකරණය නිසා ඇති වනවා.

එහෙනම් පරිගණක ජාලකරණය පිළිබඳ හැඳින්වීම ප්‍රමාණවත් කියලා හිතනවා. මොනවාම හරි ගැටළු සහගත තැනක් හරි නොතේරෙන තැනක් හරි තියේනම් පහළින් දාන්න. ඒ වගේම ඔයාලාගේ අදහස් එහෙමත් පහළින් දාගෙන යමු.

මගේ ඊලඟ පෝස්ටුවෙන් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී !

Comments